මැතිවරණ සටනින් විමල් ඉවත් වෙයි!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ මෙවර මහ මැතිවරණය සඳහා තරඟ නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
මෙම තීන්දුව පක්ෂයේ සියලුම මට්ටම්වල සංවිධාන යාන්ත්‍රණය තුළ සාකච්ඡා කිරීම මගින් සහ තීන්දු තීරණ ගනු ලබන මණ්ඩප සහ සමූහයන්ගේ එකඟතාව මත ගනු ලැබූ දේශපාලන තීන්දුවක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අනුර දිසානායක ජනාධිපතිවරයා ‘දෙවන ගෝඨාභය’ බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නැති බවද එම නිවේදනයේ දක්වා ඇත. එහෙත් එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද වගකීමෙන් යුතුව පොදු මහජනතාවට සහතික වෙන බවයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.
වීරවංශ මහතාගේ නිවේදනයේ තවදුරටත් මෙසේ සටහන් කර තිබේ.
”ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන, අධිරාජ්‍ය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්ෂා කිරීමට සහ එම ජනවරම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටීමට බැඳී සිටියි. එම තත්ත්වය තුළ මහ මැතිවරණය මගින් සාමාන්‍ය බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීම යනු ඉහත සඳහන් කළ අර්බුදයට මුහුණ දීම සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත්වේ. ඒ මගින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලිවල ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ බලය සීමා වේ. එහිදී ආණ්ඩුව තුළ නියෝජනය නොවන බලවේග සහ විපක්ෂය ලෙස හැඳින්වෙන බලවේගවලට භූමිකාවන් දෙකකින් එකක් තෝරා ගැනීමට බල කෙරේ. පළමුවැන්න සම්ප්‍රදායනුකූල විරුද්ධ විපක්ෂය ලෙස අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට වාසිසහගත භූමිකාවක් ඉටු කිරීමය. අපගේ කියවීම අනුව දෙවැන්න වන්නේ මහජන අපේක්ෂා නියෝජනය කරමින් ආණ්ඩුව පීලිපැනීම වැළැක්වීම සඳහා මඟ පෙන්වීමේ සහ බලපෑම් කිරීමේ භූමිකාවය.
ජාතික බලවේගවලට මානසික බාධක පනවනු ලබන යම් පාර්ශ්ව විසින් එම භූමිකාව ආණ්ඩුවට සහාය දීමක් ලෙස නිර්වචනය කිරීමේ හැකියාව ඇත. ඒ පිළිබඳව අපගේ විරෝධයක් නොමැති අතර එම අභියෝගයට සහ රටේ පවතින බහුතර මහජන මතයට සාපේක්ෂව ගත්විට පාර්ලිමේන්තුව තුළ ඉටු කර කරන භූමිකාවට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාව වඩා වැදගත් සහ බලවත් විය යුතු බව අපගේ දේශපාලන කියවා ගැනීම වේ.”
