හොර පාරෙන් මෙරටට ආ බාල ඖෂධ.

හොර පාරෙන් මෙරටට ආ බාල ඖෂධ


පසුගිය කාලය තුළ බාල ඖෂධ පිළිබඳව විශාල වශයෙන් කතාබහට ලක් වූ මාතෘකාවක් නොමැති තරම්. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදු වූයේ ද ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිබඳව ගැටලුවකි. කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත් අඩංගුවට පත්වීමෙන් පසුවත් මෙරටට බාල ඉමියුනෝ ග්ලොබියුලීන් ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව වෛද්‍ය සැකසුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් මහතා විසින් නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. 

"මෙම ඉමියුනෝ ග්ලොබියුලීන් තොග ලංකාවට ගෙනවිත් තිබෙන්නේ ඉන්දියාවෙන්. මෙම ඉමියුනෝ ග්ලොබියුලීන් තොග තත්ත්වයන් බාල නිසා මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කළ බව වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ වෛද්‍ය සැකසුම් ඒකකයේ විශේෂ චක්‍රලේඛයේ සඳහන් වෙනවා" යනුවෙන් පවසා සිටී. එමෙන්ම ගෙන්වූ ඖෂධ තොග වල ප්‍රමාණය, ඒවායේ වටිනාකම, ඒවාට මුදල් ගෙවීම යන සම්පූර්ණ යාන්ත්‍රණය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කර ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. 

"මේ විදිහට ඖෂධ නියාමනයකින් තොරව, ඖෂධ නිරීක්ෂණයකින් තොරව, ඖෂධ තොග පරීක්ෂාවකින් තොරව, රසායනාගාරයෙන් කළ යුතු අදාළ අධීක්‍ෂණ වලින් තොරව, ලංකාවට ගෙන්වන ඖෂධ ලියාපදිංචියේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදය මගහැර දේශපාලනඥයන්ගේ හෝ නිළධාරීන්ගේ අවශ්‍යතා මත බාල ඖෂධ දිගටම ලංකාවට පැමිණෙනවනම්, මේ ඖෂධ භාවිතා කිරීම නිසා අනතුරට පත්වන කුඩා දරුවන්, තරුණයන්, වැඩිහිටියන්ගේ ජීවිත වලට වගකියන්නේ කවුද? ඒ වගේම ඖෂධ තොග භාවිතයෙන් ඉවත් කළත් මේ සඳහා ගෙවපු ඩොලර් මිලියන ගණනක් මුදල් වලට වගකියන්නේ කවුද?" යනුවෙන් ප්‍රශ්න කර සිටියේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, මෙම කාරණාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර මේ ක්‍රියාවලියට සම්බන්ධ සියළුම දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්නත්, සිදු වූ ආර්ථික අලාභය අයකර ගැනීමට කටයුතු කරන ලෙසත් අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. 

Post a Comment

Previous Post Next Post