පොහොර හා ඉන්ධන සහනාධාර දැන් දෙන්න පුළුවන් – මැ.කො.ස.
මහා මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබුණ ද ජනාධිපතිවරණයට පෙර පැවති රජය මගින් අනුමත කර තිබියදී අත්හිටුවූ ගොවීන් සඳහා ලබාදීමට නියමිත රුපියල් 25,000ක පොහොර සහනාධාරය, ධීවරයන් සඳහා වූ ඉන්ධන සහනාධාරය ලබාදීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක මහතා (03දා) පැවසීය. ඒවා අත්හිටුවනු ලැබුවේ ජනාධිපතිවරණය අවසන් වනතෙක් පමණක් බවද ඔහු කීය.
පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීම සහ ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබාදීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය දී තිබුණත් මැතිවරණ කොමිෂන් සභාව එය අත්හිටුවූ බවට ඇතැමුන් චෝදනා කළ බවද රත්නායක මහතා පවසයි. එහෙත් මැතිවරණ කොමිසම එම දීමනා අත්හිටුවූවේ ජනාධිපතිවරණය අවසන් වනතෙක් පමණක් බවත් මේ වනවිට ජනාධිපතිවරණය අවසන් වී ඇති නිසා අවශ්‍ය නම් එම දීමනා නැවත ලබාදීමට නව රජයට හැකි බවත් කී සභාපතිවරයා මහ මැතිවරණයක් ප්‍රකාශ කර ඇති නිසා එය අවසන් වනතෙක් අලුතින් සහනාධාර ලබාදීම, දී තිබූ සහනාධාර මුදල් වැඩි කිරීම වැනි අලුත් දේවල් ලබාදිය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
ඉන්ධන මිල පහළ දැමීමම ද මීට පෙර ගෙන තිබූ තීරණයක් අනුව සිදුකර ඇති නිසා අත්හිටුවීමට මැතිවරණ කොමිසමට අවශ්‍යතාවයක් නැතැයි කී ඒ මහතා පසුගිය ජනාධිපතිවරණය අවසන්වන තෙක් අත්හිටුවා තිබූ දීමනා ජනාධිපතිවරණය අවසන් වී ඇති නිසා ක්‍රියාත්මක කිරීමට කොමිසමෙන් බාධාවක් නැතැයි ද කියා සිටියේය. මෙම දීමනා කොමිසම අත්හිටුවූ බවට ඇතැම් පිරිස් චෝදනා කරන්නේ නිසි අවබෝධයකින් තොරව බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය සැලසුම් කළ පරිදි මේ මස ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්. පී. එන්. වික්‍රමසිංහ මහතා පැවැසීය. රුපියල් බිලියන 20ක් වැය වන බවත්, එම මුදල් මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බව දිවයින ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
