වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය?


වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩ තහනම් කර ඇති පසුබිමක අධිකරණ තීන්දුව මගින් වැඩ බලන පොලිස්පති වරයකු පත්කරන මෙන් නියෝග කර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කිරීමට යෝජනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ තිස්හය වසරක සේවාවක් හිමි ඔහු මේ වනවිට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර මීට පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුද හොබවනු ලැබීය.

1988 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වූ ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියකු ලෙසද, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන්ද දිවුරුම් දීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා ඔහු පත්වී ඇත.මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ලබා ඇත.

හෙතෙම, නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු හා පොලිස් අධිකාරිවරයකු ලෙස එක්ව තිබේ.

වැඩබලන පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය හා ලලිත් පතිනායක යෝජනා වී ඇති  අතර ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා පත්කරනු ඇතැයි එම  ආරංචි මාර්ග සඳහන් කරයි.

Post a Comment

Previous Post Next Post